Sunday, December 1, 2019

බෙලිගල විජය සුන්දරාරාම රජමහා විහාරය (Beligala Rajamaha Viharaya)

කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු විනාශ මුඛයට පත් පොළොන්නරු රාජධානිය බිද වැටිමත් සමග දඔදෙනි රාජධානිය වශයෙන් පත්කර ගත් තුන්වන විජයබාහු රජු විසින් කොත්මලේ සගවා තිබු දන්ත දාතුන් වහන්සේ හා පාත්‍ර ධාතුන් වහන්සේ බෙලිගලට වැඩම කරවා බෙලිගල පර්වතයේ මනරම් දළදා මැදුරක් කරවා දළදා වහන්සේ එහි වැඩම කොට හිදුවා වත් පිළිවෙත් කලහ. බෙලිගල පර්වතය මුදුනෙහි දෙව් විමනක් මෙන් මනරම් දළදා මාලිගයක් ඉදි කල බවත් බෙලිගල සිසාරා පවුරු පදනම් සකස් කොට දළදා වහන්සේට ආරක්ෂාව සැපයු බවත් තුන්වන විජයභාහු රජතුමා විසින් බෙලිගල විහාරස්ථානයක් කරවා විජයසුන්දරාරාමය නමින් සගසතු කොට පුජාකර ඇති බව මහා වංශයේ සදහන් කරයි.

විජයබාහු රජතුමා සිය වසර හතරක රාජ්‍යය කාලය තුළ බෙලිගල දඔදෙනිය වාරණ යන ස්ථාන වල ආරාම කරවා ඒවා විජයසුන්දරාරාම ලෙස නමි කර බුදු සසුනට මහගු සේවාවක් කල දැහැමි රජ කෙනෙකි. අසමගි සංඝයා සමගි කරවා කැළැවැදි සිටි සංඝයා ලෙන්වා මෙම විජයසුන්දරාරාම විහාරයේදි උපසම්පදා විනය කර්මය කරවු බව සදහන් වේ.විහාරයේ වම් පසින් සතර මහා දේවාල තිබි ඇත. අද වන විට පුද්ගලික නිවාස පිහිටා ඇති මේ භූමියේ පුරාවස්තු තිබු බවට සාදක ඇත.

එමෙන්ම වර්තමානයේ දන්සල් ශාලාව පිහිටි භූමියේ සත්මහල් ප්‍රාසාදයක් හා වත්මන් මහා විහාරය තුන් මහල් ප්‍රාසාදයක් වශයෙන් පැවති බවත් එහි රහතන් වහන්සේලා වැඩසිටි බවත් ජනප්‍රවාද තුළ දැක්වේ.

ගම්පොළ රාජධානි සමයේදි ලොවට පහල වු හෙනකද බිසෝබණ්ඩාර නම් දේවතාවිය බෙලිගෙඩියෙන් උපන්නේද බෙලිගල බවද ජනප්‍රවාදයේ සදහන් වේ. හෙන හඩක් නගමින් බෙලි ඵලය දෙපලු කර ඉපදුන හෙයින් බිසෝබණ්ඩාර තොමෝ හෙනකද බිසෝබණ්ඩාර නමින් ප්‍රචලිත වු බවද ජනප්‍රවාදයේ සදහන් වේ.


‍බෙලිගල ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ


දේවානම්පියතිස්ස රජ සමයෙහි මහමෙවුන් උයනෙහි රෝපනය කරන ලද ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ දෙතිස් මහා ඵලයෙන් එක් ඵලයක් රන් කරඩුවක රෝපනය කර බෙලිගලට වැඩමවා බෙලාගාල ශුද්ධ කර බෙලිපල කෙටු ගල් ටැඔක් මත බෝ පැළය සහිත රන් කටාරම තබා බෝධිය පිහිට වු බව වංශ කතාවල සදහන් කරයි. බෝධින් වහන්සේ වැඩමවා ගෙන ආ අටලොස් කුලයක ජනතාව බෙලිගල අවට ගම්වර දි පදිංචි කරවා බෝධින් වහන්සේට පුද සත්කාර කල බව සදහන් වේ.
බෙලිගල ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ
ජනප්‍රවාදයට අනුව තිවක්ක නම් බමුණු කුල පුත්‍රයකු අටලොස් කුලයක ජනතාවත් සමග මහමෙවුනා‍ උයනේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ නමත් වැඩමවාගෙන දකුණු දිසාවට යන ගමනේදි රාත්‍රිය උදා වු හෙයින් බෙලිගල වෙහෙරෙහි රාත්‍රි නවාතැන් ගන්නා පිණිස බෝධින් වහන්සේ සහිත පාත්‍රය අසල වු බෙලි ගාලක දෙබලක් මත රදවා උදෑසන ගමනට සුදානම්ව බැලිමේදි පාත්‍රය සිදුරු කරගෙන බෝධින් වහන්සේගේ මුල් බිමට වැදි ඇති බව දැක මෙයට හිමි ස්ථානය මෙතන යැයි සිතා රාජ්‍ය අනුග්‍රහය සහිතව බෝධින් වහන්සේ සමග ආ පිරිස අවට ගම්මාන කරවා පදිංචි කොට බෝධින් වහන්සේට පුද සත්කාර කිරිමට සැලැස්වු බව කියවේ.

එදා සිට මේ දක්වා ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ලක් ජනතාවගේ පුද සත්කාර ලබමින් මහත් ගෞරවයට පත්ව බෙලිගල වෙහෙරෙහි වැඩ වසති.

වත්මනෙහි සෑම වසරකම වෙසක් පුන් පොහෝ දිනයෙහි උදෑසන අවට ගම්මාන හතකින් කිරිපිඩු දානය මල්පහන් ගිලන්පස සහිතවද පංච තූර්යය නාද සහිතව නොයෙකුත් නර්තන අංගයන්ගෙන් සපිරි මල් පෙරහැර සතක් විහාරස්ථානය කරා පැමිණ බෝධින් වහන්සේ වටා වීති සංචාරය කොට පූජෝපහාර පවත්වති. එදිනම රාත්‍රි එම ගම්මාන වලින් අලි ඇතුන් සහිතව උඩරට පහතරට නර්තන අංගයන්ගෙන් අලංකෘත කස,ගිණි පන්දම්,මල් වෙඩි සහ බෙර සක් හඩ සහිත මහ පෙරහැරවල් සතක් පැමිණ විහාරස්ථානය වටා වීථි සංචාරය කරමින් බෝධින් වහන්සේ ප්‍රදක්ෂිනා කරමින් මහත් හරසරින් පුද පුජා පවත්වති. මෙසේ හකම දිනයක පෙරහැරවල් දහ හතරක් එකම පුජනිය ස්ථානයක් කරා පැමිණෙන වෙනත් පුජනිය සිථානයක් ලක්දිව කිසිම ස්ථානයක තිබේදැයි කිව නොහැක.
බිම් මට්ටමේ සිට ගත් විට ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ තුන් වන මළුවේ වැඩ වාසය කරන අතර එම බෝධිඝරය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් එකකි. එය තනි හතරැස් වන අතර කැ‍ටයම් සහිත ගල් පඩිපෙල සදකඩ පහණ සහිත කොරවක් ගල් මෙහි වටිනාකම මනාව පෙන්වයි. ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වටා රෝපණය කර ඇති පරිවාර බෝධින් වහන්සේලා මහා රුක් සේ වැඩි ඇති අතර එයට මැදිව වැඩ වසන ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ වත්මන් උස රියන් හතරක් පමණ වන්නේය.

ක්‍රි.ව.2006 දි ශ්‍රි ලංකා ජන රජයෙහි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මැතිදුන් හා පොඩි මැණිකේ අතාවුද නොමසුරු දායකත්වයෙන් බෝධින් වහන්සේ වටා රන් වැටක් ඉදි කර පුජා කරන ලදින් බෝධින් වහන්සේගේ පෞඩත්වය හා පුජනියත්වය එයින් තවත් ඔපවත් වි ඇත.

පාත්‍රා ධාතූන් වහන්සේ


බුදු රජානන් වහන්සේ දන් වැළදූ පාත්‍රා ධාතූන් වහන්සේ අග්‍රගණ්‍ය පුජා වස්තුවකි. පාත්‍ර ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම විමෙන් අනතුරුව ලක්දිව නොයෙකුත් ස්ථානයන්හි කලින් කලට තැම්පත්ව ඇති අතර අවසන් වරට තැම්පත්ව ඇත්තේ බෙලිගල විහාර භුමියෙහි පිහිටි චෛත්‍යය රාජයාණන්ගේ ගර්භයෙහි වන්නේය. මේ බව පුරාණ ග්‍රන්ථ සපත කරන අතර බෙලිගල විහාර සන්සයෙහිද පැහැදිලිව සදහන් කර ඇත.ධාතු වංශයෙහිද බෙලිගල විහාරස්ථානයෙන් මතුවට පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබද සදහන් කර නැත. මෙම පාත්‍ර ධාතුන් වහන්සේ තැම්පත් කර ඇති චෛත්‍යය මහ මළුවෙන් අඩි 06 ක් පමණ උස් වු චෛත්‍යය මළුවෙහි ඝණ්ඨාකාර අඩි 50 ක් පමණ උස ඇති දර්ශනිය චෛත්‍යයක් කරවා නිදන් කර ඇත. මෙම චෛත්‍යය මළුවට ගොඩ විම සදහා පුරණයේ පටන් ගලින් කරණ ලද පඩිපෙළක් කොරවක් ගල් සහිතව නිමවා ඇත. ලොව්තුරා බුදුරජානන් වහන්සේ දන් වැළදු පාත්‍ර ධාදුන් වහන්සේ බෙලිගල රජමහා විහාරස්ථානයේ නිදන් වි ඇත යනුවෙන් ත්‍රි සිංහලේ කඩඉම් වාර්තාව සදහන් කරයි.වෛත්‍යය අබියස පුජාවන් සදහා කුඩා විහාර මන්ධිරයක්ද ඉදි කරවා ඇත. මෙවන් පුජනිය වස්තුවක් බෙලිගල විහාරයෙහි තැම්පත් කර ඒ සදහා පුදපුජා පවත්වන්නට ලැබිම අපගේ මහත් භාග්‍යයක් කොට සලකමු.
බෙලිගල චෛත්‍යය


සදකඩ පහණ

සාම්ප්‍රධායික නිර්මාණයෙන් බැහැර වු බෙලිගල විහාරයෙහි පිහිටි සදකඩ පහණ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තය. මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ සත්ත්ව රූප පිහිටා ඇති ආකාරයයි. බොහෝ විට සදකඩ පහණෙහි සත්ත්ව රූප එක් කෙළවරකින් පටන් ගෙන අනෙක් කෙළවර දක්වා එක් පැත්තකට පිහිටන පරිදි නිර්මාණය කර ඇත. බෙලිගල සදකඩ පහණෙහි සත්ත්ව රූප දෙපැත්තෙන් පටන්ගෙන මැදදි හමුවන ලෙසට නිර්මාණය කර ඇත.

මධ්‍යයේ පිහිටි පද්මය උස්කොට පිහිටා ඇති අතර එය එය අර්ධ කවයකට වැඩි වන ලෙසට නිර්මාණය කර ඇත. සදකඩ පහණෙහි පිටත කෙළවර මකර රූප දෙකකි. අවසාන කවයේ ලියවැල් වෙනුවට නිර්මාණය කර ඇත්තේ ගිණිදැල් ය. පිටත කවයේ සිට පිළිවෙලින් සිංහ,ඇත්,අස්ව රූප කව දක්නට ඇත. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මෙහි දැක්වෙන සියලුම සත්ත්ව රූප දෙපසින් පැමිණ මැදදි මුහුණට මුහුණ හමු විමයි. ඉන් සිංහ රූප පෙළෙහි සිංහයන්ගේ හිස් පිටු පසට හැරි ඇත. ඇත් පෙල පිටුපස කකුල් මදක් ඔසවාගෙන ඇත. ඇතුළතින්ම පිහිටි කවයේ අශ්වයින් දස දෙනෙකි. ඔවුන්ගේ හිස් පිටුපසට නැමි ඇත. මෙම සදකඩ පහණෙ ඉතා සියුම් ලෙස නිර්මාණය කර තිබුනද දිර්ඝ කාළයක් තිස්සේ ප්‍රධාන වාහල්කඩඩෙහි පැවතිම නිසා පැගීමෙන් ගෙවි ගොස් ඇත. වර්තමානයේදි මෙය නොපෑගෙන ලෙස ආරක්ෂා කර ඇති අතර ඉතා දුර්ලභ හා අනර්ඝ සදකඩ පහණක් බව කිව හැකිය.
මහා විහාර මන්දිරය

ඉතා ගාම්භිර ලෙස නිර්මානය කරන ලද ඔත් පිළිම වහන්සේ, සැතපෙන පිළිම වහන්සේ හා හිටි පිළිම වහන්සේ ද විශ්ණු දෙවියන්ගේ හා සමන් දෙවියන්ගේ පිළිම දෙකක්ද සමන්විත විහාර මන්දිරය ගල්කණු උපයෝගි කරගෙන සාදන ලද පැරණි විහාර මන්දිරයකි. ඇතුළත බිත්ති වල මහනුවර යුගයට අයත් බිතු සිතුවම් දක්නට ඇති අතර සුවිසි විවරණය චිත්‍රණය කර ඇත. සිවිළිමේ මනරම් චිත්‍රයකි. පුරාතනයේ මෙහි වහලයට රන් උළු සෙවිලි කර තිබු බවට ජනප්‍රවාදයේ සදහන් වෙයි.

විහාර මන්දිරය

මෑත යුගයට අයත් කුඩා විහාර මන්දිර බෝධින් වහන්සේත් චෛත්‍යය රාජයානන් වහන්සේත් අතර බෝධි මළුවේ පිහිටා ඇති අතර විචිත්‍රවත් ලෙස නිර්මාණය කරණ ලද පිළිම වහන්සේලාගෙන් සමන්විත වේ. විචිත්‍ර චිත්‍ර රටාවන් හා ඇතුල්වන ප්‍රධාන දොරටුවෙහි මනරම් මකර තොරණකි.
කෙසේ වෙතත් පුරා විද්‍යාත්ඥ එච්.සි.පි.බෙල් මහතාගෙන් පසුව මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් මෙතෙක් සිදු කොට නැත. එම නිසා මෙතෙක් සදහන් කල කරුණු තුළ ජනප්‍රවාදයද මුසුව ඇති මෙයින් නිවරදි ඉතිහාසය හා සත්‍යය සම්බන්ද යම් යම් ගැටළු පවති. එහෙයින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව විද්‍යාත්මක ගවේෂණයක් බෙලිගල පුජනිය ස්ථානය තුළ සිදුවිය යුතු බව අපගේ හැගිමය.
HOW TO REACH





No comments:

Post a Comment