Friday, December 6, 2019

සේරුවාවිල රජමහා විහාරය (Seruwavila Rajamaha Viharaya)

සේරුවාවිල මංගල රාජමහා විහාරය

සේරුවිල මංගල රාජමහා විහාරය ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙම පුජනිය පින් බිම සේරුවිල හා සේරුවාවිල යන නම් දෙකෙන්ම හදුන්වයි. සේරුනුවර යනු කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ මාගම රාජධානියේ උතුරු කෙලවරේ පිහිටි ප්‍රාදේශිය රාජයයකි. සේරුනුවර සිව නම් රජතුමා විසින් පාලනය කල බව ඉතිහාසය පොතේ මෙන්ම ධාතු වංශය නම් ග්‍රන්ථයෙහිද දැක්වේ.

සේරුනුවර අසබඩ පිහිටි විශාල විල සේරුවිල නම් විය. ඒ අනුව මෙම භුමිය සේරුවිල නම් ව්‍යවහාර විය.

ජනප්‍රවාදයේ එන තවත් ආකාරයකට අනුව, කාවන්තිස්ස යුගයේ සිට සේරුවිල විහාරස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේලා හා භික්ෂුන් වහන්සේලා පැන් පහසුව පිනිස මෙම විලට පැමිණි බැවින් සිවුරු-ආ-විල පසුව සේරුවාවිල වු බව ද කියවේ.

පිරිනිවන් පා වදාල බුදුරදුන්ගේ ශ්‍රි දේහයේ ශේෂ වු ශාරිරික ධාතුන් අතරින් විශාලම ධාතුන් වහන්සේ ද වන්නේ ලලාට ධාතුන් වහන්සේය.බුදුරදුන්ගේ ඒ සදා පුජනිය වු ශ්‍රි ලලාට ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේලා මැණ්ක් ඔබ්බ වු ඝණ රන් පිළිමයක් පිහිටුවා එම පිළිමය නිධන් කොට කාවන්තිස්ස රජතුමා විසින් කරන ලද සේරුවිල මංගල මහා චෛත්‍යය හා රජමහා විහාරය පුරාණයේ තිස් මහ වෙහෙර නමින්ද හැදින්වු බව පුරා විද්‍යාත්මක සාධක වලින් පැහැදිලි වේ.

ලලාට ධාතුන් වහන්සේ දඹදිව සහ සිරිලක විශාල බෞද්ධ පිරිසකගේ ඉමහත් ගෞරවයට මෙන්ම පුජනීයත්වයට හා වන්දනාමානයට පාත්‍ර වි ඇති පුජනීය වස්තවකි. බුදුරදුන් ශ්‍රි ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කොට ඇති  මෙම පුජනිය සේරුවිල මංගල රජමහා විහාරය අදත් බොදු බැති මතුන්ගේ ගෞරවයට හා වන්දනාමානයට ලක්වි ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි.

ලලාට ධාතුන් වහන්සේ සේරුනුවරට වැඩමවිම

බුදුරදුන් ජිවමාන කාලයේදිම අනුදැන වදාල, අනාගතයේදි මෙම ශ්‍රි ලංකාද්විපයේ රජවන කාවන්තිස්ස රජු විසින් මනහර දාගැබක් ඉදිකර තමන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටවනු ලබන බව වදාල බුදු වදන් වලට අනුව නොපමාව කටයුතු කිරිමට ඉතසිතින් එකග වු කාවන්තිස්ස රජතුමා ඒ වන විට ගිරි නුවර සිටි තම පුතු දුටුගැමුණු කුමරුට මාගම් පුරය භාර කොට විහාර මහා දේවියද සද්ධාතිස්ස කුමාරයාද සමගින් ලලාට ධාතුන් වහන්සේද වඩමාගෙන සේරුනුවර බලා පිටත් විය.රජතුමා සමග චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරුන් වහන්සේ ඇතුලු පන්සියයක් පිරිවර භික්ෂුන් වහන්සේලාද ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කරමින් පසුපස වැඩි සේක.

ඒ ආකාරයට සිවුරග සෙනගද පිරිවරා මහා පෙරහැරින් දිගාමඩුල්ල හරහා මුහුදට සමාන්තර මාර්ගයකින් සේරුවිල අසබඩ වරාහසොණ්ඩ ගල්කෙමිය අසලට පැමිණි විට ධාතුන් වහන්සේ රැගත් රථය මඩේ එරි ගියේය. කුමන හේතුවක් නිසා එසේ වුවාදැයි රජතුමා තිස්ස තෙරුන්ගෙන් විමසු විට උන්වහන්සේගේ උපදේශය වුයේ එම ස්ථානය දාගැබ ගොඩ නැගිමට සුදුසු බවයි. ඒ අනුව වෙසක් පුන් පොහෝ දිනකදි මහා චෛත්‍යය රාජයාගේ වැඩ ආරම්භ විය.


ධාතුනිධානෝත්සවය

මංගල මහා චෛත්‍යයේ ධාතු නිදන් උත්සවයේදි ආශ්චර්යමත් සිද්ධින් සිදුව ඇති බව ධාතු වංශයේ විස්තර වේ.
රජතුමා ධාතු ගර්භයේ තැම්පත් කිරිමට මැණික් ඔබ්බවා ඝණ රනින් මනාර්ඝ වටිනාකමක් ඇති බුද්ධ ප්‍රතිමාවක් නිමවා තිබුනි.ධාතුන් නිදන් කිරිමට මත්තෙන් රජතුමා තම මස්තකයේ ධාතුන් වහන්සේ වඩා ධාතුන් ගර්භය වටා තුන් වරක් ගොස් අප තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නම් අප විසින් කරන ලද රන් මුවා බුද්ධ ප්‍රතිමාවේ නළල් තලයේ නියමිත ලෙස පිහිටා සිටිත්වා යි අධිෂ්ඨානය කලවිට ලලාට ධාතුන් වහන්සේ අහස් තලයට පැන නැගි සවනක් බුදු රශ්මි ධාරා විහිදුවමින් වැඩ සිට රන් පිළිමයේ නළල් තලයේ චන්ද්‍ර බිම්බයක් සේ බබලවමින් නියමිත පරිදි පිහිටා සිටි සේක.
ඒ සමගම ශිව නම් තෙරුන් වහන්සේ ජයසේන නම් නා රජුගෙන් ලබාගත් බුදු රදුන්ගේ කේෂ ධාතුන් වහන්සේලා සමග දාගැබ් මලුවෙහි භික්ෂු සංඝයා අතර පෙණුනු සේක. රජතුමා තෙරුන් වහන්සේ අතින් කේශධාතු ගෙන රන් කරඩුවක බහා මිහිදු නම් ඇමතියකු අතට දුන්නේය. එවිට රැස්ව සිටි ජනයා සාධුකාර නාද පැවැත්වුහ. දෙවියන් අහසින් මල් වැසි වැස්සවිය.
මේ ජන සමුහයා මධ්‍යයේ පෙළහර දක්වා සත්රුවන් මුවා බුදුරුවෙහි නළල් තල මධ්‍යයේ වැඩ සිටන සද, රජතුමා මිහිදු නම් අමාත්‍යා අතින් කේශධාතුන් වහන්සේලා ගෙන විහාර මහා දේවින් අතට දි බුදුරදුන්ගේ ශීරෝධාතු මස්තකයේ පිහිටුවන ලෙස දැන්විය.
ඉක්බිතිව බිසව කේශධාතු ගෙන බුද්ධ රූපයෙහි ශීර්ෂය මත පිහිටාවායි අධිෂ්ඨානය කල විට, කේශධාතුන් වහන්සේලා කරඩුවෙන් අහසට පැන නැගි රැස් විහිදුවමින් පැමිණ බුද්ධ ප්‍රතිමාවෙහි ශීර්ෂය මත පිහිටා සිටි සේක.ඉක්බිති රජතුමා තෙරුන් වහන්සේ සමග ධාතු ගර්භයට වැද සතර දිසාවෙහි මැණික් පිහිටුවා තමන් පැළදි ආභරණ ගලවා ධාතු ගර්භයෙහි පුදා තමන් විසින් නව කෙළක් පමණ රත්ත්‍රන් ගෙන්වා රන්කාරයින්ට දි රන්උළු කොට බැදි ධාතු ගර්භයෙහි සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රි ලලාට ධාතුන් වහන්සේ සමග කේශධාතුන් වහන්සේලාද සමග වු ඝන රන් බුදුධ ප්‍රතිමාව ධාතු ගර්භයේ පිහිටුවා සේක. ඉන්පසු රජතුමා දාගැබේ බිසෝ කොටුවද කොත් කැරැල්ලද නිමවා සුණු පිරියම් කොට මංගල මහා චෛත්‍යය රාජයාගේ වැඩ අවසන් කළේය.
මේ සියලු වැඩ නිමකළ කාවන්තිස්ස රජතුමා තුන්යොදුනක් මායිම් ලකුණු කොට සේරුවිල ආදි ස්ථානද අයත් වන සේ සිමා බැද වෙන් කොට සංඝයා සතු කළේය. චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ තවත් රහතන් වහන්සේලා පිරිවරා මේ විහාරයේම වැඩ සිට නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.
කාවන්තිස්ස රජතුමා සිතුල්පව් විහාරය, වෙල්ගම් වෙහෙර, ජාතපබ්බත විහාරය, වලස්ගල විහාරය, හා තමන්ගේ නම තබා කරවු මාගම තිස්ස මහා විහාරය යනාදි එකසිය තිස් අටක් වෙහෙර විහාර කරවා චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ප්‍රධාන සංඝයා වහන්සේලාට මහ දන් දි පින්කොට එයින් පසු දෙව්ලොව උපන්නේය.